Tuesday, 18 February 2014

ජපන් ශිෂ්‍යත්වය...

කාන්තාරයේ කූඩාරම් ගහන එක ගැන පලකල පෝස්ට් එකෙන් පස්සේ නොහිතුව විදියට ආයෙමත් කාන්තාරගත වෙන්න සිද්ධ වුනා.ඒ ඉන්න කොට ඩොංගලේට එන යන සිග්නල් එක්ක සයිබරයේ වැඩි වෙලා ඉන්න ලැබුනේ නෑ.ඩොංගලේ ගලවලා පැත්තකටම දාලා බාගෙන තිබුන ෆිල්ම් ටික ආයෙමත් බලමින් කාලය ගෙවාගත්තා.ඊයේ දිනයේ ආයෙමත් මගේ කාමරයට සම්ප්‍රාප්ත වෙලා ඉන්න කොට හදිසියේම වගේ ‘ජපන් අම්මා‘ ව මතක් වුනා.ඒ මතකය හිතේ තබාගෙන තබනා පුංචි සටහනක්...

                                                     වර්ෂය 1991. ඒ වනවිට මම රණසිංහ මහා විද්‍යාලය වන ගමේ පාසලේ 8 වසරේ ඉගෙනුම ලබමින් හිටියේ.විදුහල්පතිවරයාගේ කැඳවීමකින් මමත් මගේ පන්තියේම සිසුවියන් දෙදෙනෙකුත් විදුහල්පති කාමරයට ගිය බව මතකයි.විදුහල්පතිතුමා තවත් ගුරුවරු කීප දෙනෙකුම සමග සාකච්ඡාවකින් පසු සිසුවියන් දෙදෙනාට පන්ති කාමරයට යන ලෙසත් මට නවතින ලෙසත් පැවසුවා.පන්ති නායකයා වශයෙන් හුනු කූරු,නාම ලේඛණය ගෙන ඒම වැනි දෑ සඳහා නිතරම මම විදුහල්පති කාමරයට යන නිසා මෙම රඳවා ගැනීමේ අමුත්තක් තිබුනේ නෑ.
                                 පසුව මා අමතා කතා කල විදුහල්පතිතුමා
 ‘පුතා ලබන ඉරිදා මේ ලියුමේ තියෙන වෙලාවට නයිවල උභයශේඛරාරාම පන්සලට ගෙදර කෙනෙක් එක්ක යන්න..රැස්වීමක් තියෙනවා අපි ඒකට ඔයාව තෝරගෙන තියෙන්නේ‘........

                                         මතක හැටියට මගේ නම,වයස,පාසල සඳහන් විදුහල්පතිතුමා සහතික කල ලිපියක් මිස වැඩි තොරතුරු ලියුමේ සඳහන් වුනේ නෑ.එලබුන ඉරිදා දිනයේ අම්මාත් එක්ක එම පන්සලට මම යනවිට මගේ වයසේම වගේ තවත් පාසල්වල සිසු සිසුවියන් 8 දෙනෙක් හිටියා.ඊට අමතරව අපට වඩා ඉහල පන්තිවල අයත් 16 දෙනෙකු පමන හිටියා.මේ හැමෝම තම තමන්ගේ මව,පියා,භාරකරුවෙක් සමග තමයි ඇවිත් හිටියේ.ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් සහ වෑන් රථ 2ත් තිබුනා.රැස්වීම් ශාලාවේ අපි 8 දෙනා වෙනමත් අයියලා අක්කලා ටික වෙනමත් දෙමව්පියන් අපිට පිටුපසිනුත් වාඩිවුනා.විහාරාධිපති ‘යටගම විමලධම්ම‘ ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් ඉටු කරමින් රැස්වීම ආරම්භ කලා..

විහාරාධිපති හිමියන්ගේ කතාවෙන් දැනුවත් කල පරිදි අප සිසු සිසුවියන් සියලු දෙනා ජපන් ජාතිකයන් විසින් දෙනු ලබන ශිෂ්‍යත්වයකට තෝරා ගෙන තිබුනා.ඉන් පසුව පැමින සිටි  ස්වාමීන් වහන්සේ නමක් බොහෝම සරලව,සුහදශීලිව මේ ශිෂ්‍යයත්වය ගැන හැදින්වීමක් කලා.
ජපන් ජාතිකයන්ට ධර්මය දේශනා කරමින් වසර 12 පමන ජපානයේ රැඳී සිටි උඩුගම සුමංගල ස්වාමීන් වහන්සේගේ වටිනා අදහසක ප්‍රතිඵලය තමයි මේ ශිෂ්‍යත්වය.ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන දුප්පත් ලාංකික දරු දැරියන්ට උදව් කිරීමට කැමති  ජපන් ජාතියන් හා එක්ව 1986 වර්ෂයේ ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කල එම ස්වාමීන් වහන්සේ රට පුරා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 100 වැඩි ප්‍රමාණයක් පන්සල් තුල ආරම්භ කර ඇත.



ප්‍රාදේශීය මධ්‍යස්ථාන හිමිවරුන් විසින් අවට පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කර තෝරාගන්න සිසු පිරිසට මේ වසරේ අප පාසලෙන් සුදුසුකම් ලැබුයේ මා පමනි.මා නොදැන හිටියත් ඊට කලින් අවුරුද්දේත් අප පාසලේ දෙදෙනෙකු මේ ශිෂ්‍යත්වයට සුදුසුකම් ලබා තිබුනා.සෑම වාර විභාගයකදීම පලවෙනියා හෝ දෙවෙනියා වන මම පවුලේ අයත් එක්ක පොල්අතු හෙවිලි කල කුඩා නිවසක ජීවත් වීම,පියා කුලී වැඩ කරමින් අපව පෝෂණය කිරීම,හවස් වරුවේ මම ගඩොල් පෝරනුවක කුලියට ගඩොල් ඇදීම යන සියලු තොරතුරු අප ගමේම පදිංචි ‘මේනිස්‘ විදුහල්පතිතුමා දැනගෙන හිටියා.අදටත් මමත් මගේ දෙමව්පියනුත් සර්ව පාරක දැක්කත් ලගට ගිහින් කතා කරන්නේ සර් කල ඒ උපකාරය එතරම්ම වටින නිසයි.

                                                මේ විදියට නිප්පොන් ශිෂ්‍යත්වලාභියෙක් වුන මට එතැන් පටන් ගමේ දහම් පාසලෙන් අස්වෙලා මධ්‍යස්ථානයේ දහම් පාසලට යන්න සිදු වුනා.සෙනසුරාදා දිනයේත් සිංහල,විද්‍යාව,ඉංග්‍රීසි,ගණිතය කියන විෂයයන් වලට අමතර පන්ති පංසලේම පැවැත්වුනා අප කණ්ඩායම් දෙක සඳහාම.ඉරිදා හවස ජපන් භාෂා පන්තිය පැවැත්වුනා.ආරම්භයේදී සියලුම දෙනා සහභාගි වුවත් උසස් පෙල කරන කාලය වනවිට මමත් මගේ මිතුරෙක් සහ මිතුරියක් පමනයි ජපන් පන්තියට සහභාගි වුනේ.උසස්පෙල ටියුෂන් පංති නිසා අවසානයේ ජපන් පන්තියට ඉතුරු වුනේ මගේ මිතුරා පමනයි.සති අන්ත දවස් දෙකම පංසලේ ගත කරන්න වීම අප හැමෝටම බොහෝම සතුටක් වුනා.මගේ කණ්ඩායම පිරිමි ලමුන් 5 හා ගැහැනු ලමයින් 3 සිටියා.මධ්‍යස්ථානයට පැමිනීම වෙනුවෙන් පැමිනීමේ දීමනාවක්ද අපට ලබාදුන්නා.

                                  ශිෂ්‍යත්ව අංක 1826 දැරූ මාගේ ජපාන මව්තුමිය ‘ටොෂිකෝ මිසුඕචි‘ මහත්මිය.සෑම මසකට වරක්ම අපි අපගේ කැපකරු දෙමව්පියන්ට ලියුමක් ලිවිය යුතු වුනා.මා විසින් සිංහලෙන් ලියන ලියුම ඉංග්‍රීසියට පරිවර්තනය කර දුන්නේ පාසලේ ඉංග්‍රීසි හා පන්ති භාර ගුරුතුමිය වන ‘කල්‍යානවතී‘ ගුරුතුමියයි.සියලුම ලියුම් මධ්‍යස්ථාන ස්වාමීන් වහන්සේ කියවා බලා අප විසින් කිසිදු ඉල්ලීමක් කර නැති බව සැක හැර දැනගෙන ප්‍රධාන මධ්‍යස්ථානයට යවනු ලබනවා ජපානයට තැපැල් කිරීම සඳහා.ජපන් මවගේ සේයාරුවක් සහිත ලිපියක්ද නත්තල් සුභ පැතුම් පතක්ද ඇයගෙන් මා වෙත ලැබුනා.ලා නිල් පැහැති චාම් ගවුමක් ඇඳ තණ බිස්සක වාඩිවී සිටි ඇය ඉතා ප්‍රියමනාප කාන්තාවක්.ඇයගේ සේයාරුව තවමත් මගේ සහතික පෙට්ටියේ තියෙනවා.මෙහි පලකිරීමට නොහැකි වීමනම් හිතට දුකක්.

                       ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ කෝට්ටේ දියවන්නා ඔය අසබඩව මහින්දාරාම විහාරස්ථානය තුලයි.වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය  පැවැත්වෙන දිනට ලංකාවේ සියලුම ශිෂ්‍යත්වලාභීන් මෙහි රැස්වෙනවා.ඒ සඳහා බස් රථයක් සුදානම් කරගෙන පිටත් වීම අපට තවත් එක් විනෝද චාරිකාවක්.

පොත් බෑගය
පොත්
පෑන්,පැන්සල්,කවකටු පෙට්ටිය
පාසල් නිල ඇඳුම සඳහා රෙදි
සපත්තු සඳහා වවුචර් පත්      ආදියෙන් සමන්විත කට්ටලයක් අපට ලැබුනා.
මේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ බොහෝම කඩිසරව සිනහ මුසු මුහුනින් කටයුතු කල මලියදේව හාමුදුරුවෝ අප හැමෝටම හොඳින් මතක හිටියා.


උසස් පෙල විභාගයෙන් විශ්ව විද්‍යාලයට යාමට සුදුසුකම් නොලැබුන මට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සම්පාදනය කිරීමට තරම් මධ්‍යස්ථාන ස්වාමීන් වහන්සේ කාරුනික වුනා.ඒ පාඨමාලාව ඔස්සේම පලමු රැකියාව ලබාගත් මම නිප්පොන් ශිෂ්‍යත්වය ලබා අවසන් අයෙකු බවට පත්වුනා.ඒ වනවිටත් අපට පසුපසින් ආ තවත් කණ්ඩායම් 2 මධ්‍යස්ථානයේ අප නැති අඩුව පුරවමින් සිටියා.

හදිසියේ මතක් වුන ජපන් අම්මාගෙන් පස්සේ මම උනන්දු වුනේ ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රය ගැන හොයා බලන්න.මේ ලින්ක් එකෙන් එම කේන්ද්‍රයේ වෙබ් පිටුවට යන්න පුලුවන්.ඉහත සියලුම ඡායාරූප මෙම වෙබ් පිටුවෙන් ලබාගන්නා ලදී.අදටත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ගැන නම් තියෙන්නේ විශාල සතුටක්.

ශිෂ්‍යත්වලාභියෙක් වීමට මං පෑදූ විදුහල්පතිතුමාගේ සිට උදව් උපකාර කල සැමටම ස්තූති වේවා...ජපන් මවුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා...........

41 comments:

  1. ඔහෝ, තවත් රට ගිය ඇත්තෙක්!
    ප්‍රීතියි, ප්‍රීතියි, ප්‍රීතිය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තේ ගොඩ වැදුනාට...මටත් බොහෝම සන්තෝෂයි රටගිය ඇත්තෝ...

      Delete
  2. දැන් ඔහේත් ඉන්නේ රට නිසා, උපයන සල්ලිවලින් පොඩි ගාණක් වියදම් කරන්න මේ වගේ ළමයෙකුට උපකාරය කරන්න.

    සමහරවිට දැණටමත් එහෙම කරවා විය යුතුයි.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ පහේ ශිෂ්‍යත්වය පාස් වුන අන්ධ දෙමව්පියන්ගේ දරුවෙක් ගැන පත්තරේ තිබිලා මුදල් ආධාරයක් නම් කලා..ශිෂ්‍යත්වයක් දෙන එක ගැන නම් හිතලා තිබුනේ නෑ..අදහසට ස්තූතියි...

      Delete
  3. අහම්බෙන් ආවේ...පරණ ලිපිත් කියෝලා තමයි නතර උනේ....
    ෆොටෝ ටිකනම් නියමයි...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අයාල් සිත්..දිගටම එන්න...ඇගයීමට ස්තූතියි...

      Delete
  4. අහිංසක දැරියන්ට කුණුහබ්බෙන් බැනලා ජීවිතේ විනශ කරන විදුහල්පතිවරු අතරෙ මෙවන් විදුහල්පතිවරු ………

    ඔය ශිෂ්‍යත්ව වැඩසටහන් නම් ඇත්තෙන්ම පැසසිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ප්‍රියා පාසැල් කාලයේදී ගුරුවරුන්ගෙන් ඕන තරම් බැනුම් අහලා ඇති..ඒත් ඒ බැනුම් ගුරුවරයෙක් පාවිච්චි කරන වචන වලින් හික්මීමක් ඇතිව බැනපුවා..ඉතින් අපිට කවදාවත් ගුරුවරු ගැන තරහවක් ඇති වුනේ නෑ...

      අපි අදටත් ස්තූතිවන්ත වෙනවා මේ වැඩසටහන ගැන...

      Delete
  5. නයිවල කොහේද බං තියෙන්නේ..??

    අර ෆලෝවර් ගැජට් එක මට වැඩ කරන්නෑ බං

    ReplyDelete
    Replies
    1. ඩෑෂ් බෝඩ් එකේ අපි ෆලෝ කරන බ්ලොග් ලිස්ට් එකට උඩින් තියන Add Blog වලට ගිහින් ෆලෝ කරන්න ඕන කරන බ්ලොග් ලින්ක් එක දීල ෆලෝ කරන්න පුලුවන් නේද දේශා.. මට නම් කොහොමත් ෆලෝවර්ස් ල පෙන්නන්නෙ නෑ. ඉතින් මං ෆලෝ කරන්නෙ එහෙමයි..

      Delete
    2. ලිමිට් පැන නෙවද මගේ.. මං හිතන්නේ ඒමයි

      Delete
    3. නයිවල තියෙන්නෙ අපේ පලාතෙ යකෝ.ගෙදර ඉඳන් කි මී දෙකයි,බොට තේරුණාද.

      Delete
    4. ස්තූතියි චන්දන & හැලපෙ අයියා මම වෙනුවෙන් උත්තර බැන්දාට...

      නෑ දේශක ලිමිට් කේස් එකක් නෙමේ..තව කිප දෙනෙක්ම කිව්වා ඔය කතාව.මම ගැජට් එක අයින් කරලා ආයෙත් දැම්මා.ඒත් ලෙඩේ එහෙම්මයි...ගැජට් එකේ Join this site කියන තැනට දකුනින් තියෙන පොඩි කොටුව ක්ලික් කරලා එතනින් යන්න පුලුවන් බව ඔමා කිව්වා..ට්‍රයි කරලා බලන්න..

      Delete
    5. වැරදීමක්.. // බ්ලොග් ලිස්ට් එකට උඩින් තියන Add Blog වලට ගිහින්// එතැන තියන්නෙ Add කියලයි. Add Blog කියල නෙවෙයි. :)

      Delete
  6. මාත් අවුරුද්දකට විතර කලින්, ජපන් ශිෂ්‍යත්වයක් සඳහා තෝරගන්න දරුවො දෙන්නෙකුට අදාල ස්ථානයට පාර පෙන්වන්න ගියා. ඩ්‍රයිවර් මල්ලි කියපු මධස්ථානය නම් නෙවෙයි.. මට ඒකෙ නම මතක නෑ දැන්..
    දරුවන් ගැන එහෙම සෙවිල්ලෙන්, උනන්දුවෙන් කටයුතු කරන ගුරුවරුත් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. වෙනත් මධ්‍යස්ථානයක් වෙන්න ඇති චන්දන...රට පුරාම මධ්‍යස්ථාන 117 තියෙනවා කියලා තමයි වෙබ් සයිට් එකේ තිබුනේ..යුද්දෙන් පස්සේ තවත් වැඩිවෙලා ඇති...

      දැනටත් එහෙම ගුරුවරු ඉන්නවා චන්දන.එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ ගුරු පරපුරටම කැලලක් ගේනවා...

      Delete
  7. හාමිනේයි මායි දෙන්නාත් පොඩි ළමයෙකුට සුළු උදව්වක් කරනවා මාස් පතා. විදුහල්පති කෙනෙක් තමයි තේරුවේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කතන්දර මේ පැත්තේ ගොඩ වැදුනාට....ඉස්කෝලේ යන කාලෙට පොත්පත් ගන්න අපිට සල්ලි නෑ,ගෙදර අගහිඟ දකිනකොට ගෙදරට කියන්න හිතෙන් නෑ..එහෙම වෙලාවට සුළු උදව්වක් වුනත් ගොඩාක් වටිනවා..

      Delete
  8. මගේ මිතුරකුද සිටිනවා ඔය වැනි ශිෂ්‍යත්වයක් ලබාගත්.. ඔහු සෑම විටම සඳහන් කළේ එම ශිෂ්‍යත්වය නොලැබුනානම් ඔහුට දැන් සිටිනා තත්වයට පත් වීමට නොහැකි බවයි. මෙවැනි පුණ්‍ය ආයතන තිබීම ඇත්තෙන්ම රටට සම්පතක්....


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවාට බොහෝම ස්තූතියි විදානේ...ඇත්තටම මේ ශිෂ්‍යත්වය නොලැබුනා නම් මමත් ඕලෙවල් වලින්ම නතර වෙන්න තිබුනා..තව සෑහෙන කාලයක් මේ වැඩසටහන ක්‍රියාත්මක වේවා කියලා තමයි අපේ පැතුම...

      Delete
  9. එළ කොල්ලෙක්නේ අපේ ඩැයිවර් කොලුවා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ බොස්...ඒත් හිතට දුකයි මීට වඩා හොඳ තැනක ඉන්න තිබුනා සමහර තීරණ හරියට ගත්තා නම්..දැන් තමයි තේරෙන්නේ..

      Delete
  10. වචනයකින් හෝ කලගුණ සැලකීම බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...සර්ට උනත් සතුටුයි අපි ලගට ගිහින් කතා කරනකොට..සිංහල අවුරුද්දට එන්න ලැබුනොත් බුලත් අතකුත් අරන් යනවා සර්ව බලන්න...

      Delete
  11. මෙහෙම දැනුවත් කිරීම තව යට ගොඩක් ප්‍රයෝජනවත්.
    නොයෙකුත් රටවලින් නිහඩව ලංකාවෙ දරුවන්ට සලකන අයත් සිටිනව .

    ReplyDelete
    Replies
    1. දැනට අවුරුදු 25 වැඩී මේ වැඩසටහනට..ඒත් වැඩි දෙනෙක් දන්නේ නෑ..ඒ හාමුදුරුවරුත් බොරු සද්ද නැතුව පිලිවෙලට වැඩේ කරගෙන යනවා..

      Delete
  12. කාලගුණ සැලකීම, මතකය ඉතාම හොඳ ලක්ෂණ. ඩ්‍රයිවර් කොල්ලාගේ බ්ලොග් එක අහම්බෙන් හම්බ වුණේ. කිව්වේ නෑනේ කමෙන්ට් කර කර හිටියට. ඉතාම සංවේදී සටහනක්. මේ වගේ දිරියෙන් නැගී සිටින අයට අත දෙන දෙවිවරුන්ට මගේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සුදීක...ඔව්නේ ඇවිද්ද පයට ආවා ගියාට බ්ලොග් එක ගැන කීවේ නැහැ..ඒ ලැබුන උපකාර නම් මැරෙන තුරාවට අමතක වෙන්නෙ නෑ..

      Delete
  13. මට නම් දෙයියනේ කියලා ලැබුනේ 5ශිෂ්‍යත්වෙ සමත් උනාට අවුරුදකට ලැබුන 2400විතරයි. මාසෙක හොස්ටල් බිල ගෙවන්න විතරක් ඒක ඇති උනා. ඒ උනාට ඉතින් අම්මයි, තාත්තයි මොන දුකක් විදගෙන හරි වියදම් කලා අපේ ඉගෙනීමට. අපි කැම්පස් එකේදි වෙනම පීට අරමුදලක් හදලා දුප්පත් ශිෂ්‍යයන්ට උදව් කලා. විශ්වවිද්‍යාලයෙන් එලියට ආවට පස්සෙ කන්ඩායමේ සගයො එක්ක එකතු වෙලා ඒ වැඩේට සහයෝගය දිගටම දෙමින් යනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි චමින්ද ඔයාගේ අදහසුත් මෙහෙම එකතු කලාට..උදව් කරන වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා..

      Delete
  14. ෆලෝ ගැජට්ටුව නම් වැඩ කරන්නෙම නෑ නේ

    ReplyDelete
    Replies
    1. කීප සැරයක්ම අයින් කරලත් දැම්මා,කිප දෙනෙක්ගෙන්ම අහලත් බැලුවා තාම උත්තරයක් හොයාගන්න බැරිවුනා චමින්ද...චන්දන කියලා තියෙන විදියට ට්‍රයි කරලා බලන්න..

      Delete
  15. නියමයි ,මගේ උපහාරය, රියදුරු මහත්තයට .. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔමා...ඔබටත් ජයම වේවා...

      Delete
  16. කොලුවෝ මේ පැත්තට ආවට ෆලෝ කරන්න බෑනේ දැන් මාර කරුමයක් ඒකත්...

    ReplyDelete
    Replies
    1. තාම ලෙඩේ හොයාගන්න බැරි වුනා නලීන් අයියේ...චන්දන කියලා තියෙන විදියට ට්‍රයි එකක් දිලා බලන්න...ඔමාත් පෝස්ට් එකක් දාලා තිබුනා වෙන ක්‍රමයක් ගැන...ඒත් නලීන් අයියා වැඩ රාජකාරී වැඩි කෙනෙක්නේ මතක් වුන වෙලාවක ඇවිත් යන්න...ඒ ඇති...

      Delete
  17. ආඩම්බරයි ඔබ ගැන ..පුංචි දුකකුත් හිතට ආවා ....ජපන් ශිෂත්වයක් ගැන අහල තිබුනත් අදයි හරියටම විස්තර දැනගතේ .. දිගටම ලියන්න .. අපි එනවා බලන්න ..

    ReplyDelete
  18. සාදරයෙන් පිලිගන්නවා ඔබව....ගොඩාක් පරන වැඩසටහනක්.ඒත් මාධ්‍ය වලින් වැඩිය කියවෙන්නේ නෑ...දිගටම එන්න..ස්තූතියි.

    ReplyDelete
  19. පොඩි කාලේ අපිට ගුරුවරු කියල දුන්න පුංචි දේවල් කොච්චර වැදගත් ද කියල හිතෙනවා.. ඒවා මතක තියාගෙන ඉන්න අයට කවදාවත් වරදින්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් දැන් ප්‍රයෝගිකවම තේරෙනවා ගුරුවරු කියපු දේවල ඇත්ත නැත්ත..

      Delete

ඔබට හිතුන දේ ලියලම යන්න...