Tuesday 25 February 2014

කුවේට් නිදහස

                                                                             
                 
  දින කීපයක ඉඳන් කුවේට් රට හැඩ වෙනවා,සැරසෙනවා.තරුණයෝ තම තමන්ගේ වාහන ස්ටිකර් වලින් අලංකාර කරනවා.අහසත් කාර්ය බහුලයි, නිතරම ගුවන් සංදර්ශන. මේ වෙනසට හේතුව හොයාබැලූ විට දැනගන්න ලැබුනේ පෙබරවාරි 25 හා 26 දිනට යෙදී ඇති නිදහස් උත්සවය වෙනුවෙනුයි මේ ලක ලෑස්තිය.

                                         
        බටහිර ආසියානු රටක් වන කුවේටය එක් පසෙකින් ඉරාකයටත් අනිත් පසින් සවුදි අරාබියට හා අරාබි මුහුදට මායිම් වී ඇත.18 හා 19 වන සියවස් වලදී පෙරදිග ඉන්දියානු හා මැදපෙරදිග වෙළඳ මාර්ගයේ පිහිටි සාර්ථකම වෙළඳ පොලක් මෙහි තිබී ඇති අතර මේ හේතුවෙන්ම කුවේට් ආර්ථිකය ඉතා සමෘද්ධිමත් විය.පලවන ලෝක යුධ සමයේ එවකට කුවේට් පාලකයා විසින්, ඔටෝමාන් අධිරාජ්‍ය නොහොත් වර්තමාන තුර්කියට සහාය දැක්වීම නිසා බ්‍රිතාන්‍යය අධිරාජ්‍යා විසින් කුවේටයට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලදී.මේ ආර්ථික සම්බාධක කුවේට් ආර්ථිකය දුර්වල කිරීමට හේතුවිය.

                                              පලවන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසු 1919-1920 කාල සීමාවේදී සවුදි අරාබිය විසින් කුවේට්ය තම රාජ්‍යයට ඈඳා ගැනීමට කල උත්සාහයේදී නැවතත් යුද්ධයක් ඇති විය.බ්‍රිතාන්‍යය යුධ ආධාරද සහිතව කුවේට්ය යුධ වැදුනත් අති විශාල සවුදි සේනාවකට මුහුන දීම කල නොහැකි විය.යුද්ධය අවසන් වූයේ කුවේට් රටෙන් 2/3 පමන ප්‍රමානයක් සවුදි අරාබිය විසින් ගිවිසුම් පත්‍රයක් මගින් අත්පත් කර ගැනිමෙනි.මෙම ගිවිසුම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කලේ එවකට ඉරාකයේ බ්‍රිතාන්‍ය තානාපති Percy Cox මහතායි.
             
මෙම ගිවිසුමෙන් පසු කුවේටය ‘ශේක්‘ (අරාබි නායකයන් හදුන්වන නම) වරයෙකු යටතේ පාලනය වෙමින් බ්‍රිතාන්‍යයේ අනසකට යටත් විය.භූමිය අත්පත් කරගැනීමෙන් නොනැවතී සවුදිය විසින් දැඩි ආර්ථික සම්බාධක කුවේටයට එරෙහිව පැනවීය.1923 සිට 1937 දක්වා වසර 14 දැඩි ආර්ථික සම්බාධක වලට යටත් වූ කුවේටය 1937 වසරේම බ්‍රිතාන්‍යය හා එක්ව ඛණිජ තෙල් සොයාගැනීමට සමත් විය.නමුත් ඉන් පසුව ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය නිසා ඛණිජ තෙල් සම්පත ප්‍රයෝජනයට ගැනීමට 1951 වසර දක්වාම නොහැකි විය.1952 වසර වනවිට ගල්ෆ් කලාපයේ වැඩිම ඛණිජ තෙල් අපනයනකරු වීමට කුවේටයට හැකිවිය.කෙමෙන් කෙමෙන් ආර්ථිකය සවිමත් වන විට ස්වාධීනත්වය පිලිබඳව උනන්දු වූ කුවේට් ජාතිකයන්  1961 වසරේදී බ්‍රිතාන්‍යය රජයෙන් නිදහස ලබා ගත්තා.

                                         ඛණිජ තෙල් අපනයනයෙන් ධනවත් රටක් වූ කුවේටයට නැවත වරක් දුෂ්කර කාලයක් උදාවන්නේ 1990 අගෝස්තු 2 දින ඉරාක ආක්‍රමණයත් සමගයි.එවර ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී 1991 පෙබරවාරි 26 දින ඉරාක ග්‍රහණයෙන් කුවේටය මුදාගත්තා.ඒ වනවිටත් ඉරාකය විසින් තෙල් ලිං 773 පමන ප්‍රමාණයක් ගිනි තබා විනාශ කිරීම කුවේට් ආර්ථිකයට වැදුන මරු පහරක් විය.

කෙසේ වෙතත් ඉහත සිද්ධීන් 2 මුල් කරගෙන සෑම වසරකම පෙබරවාරි 25 දින National Day ලෙසත් පෙබරවාරි 26 දින  Liberation Day ලෙසත් මහත් අභිමානයෙන් සමරනු ලබනවා...

ඉතිහාසය පාඩම දැන් නවත්තමු..

මේ පෝස්ටුව කොටන වෙලාවෙත් අහස ගුගුරාගෙන ප්‍රහාරක යානා යන සද්දේ ඇහෙනවා.දැන් Kuwait City අග නගරයේ උත්සව ආරම්භ වෙලා ඇති...තව ටිකකින් මේ කොලුවටත් ගෙදර පිරිවර පටවගෙන අග නගරෙට යන්න වේවි.හයි වේ එකෙත් ගොලුබෙලි ගමනින් තමයි අද යන්න වෙන්නේ..ඒ මදිවට ලොකු පොඩි හැමෝගෙම අතේ තියෙන වතුර තුවක්කු,ෆෝම් ස්ප්‍රේ වලින් පහර කන්නත් වෙනවා..


මම නම් ඉතින් වීදුරුව වහගෙන යන නිසා බේරුනත් අනිත් උදවිය ලග පාත වාහන එක්ක වතුර සෙල්ලම ජයටම කරනවා...හැමෝම විනෝදයට කරන දෙයක් නිසා ගැටුම් නම් ඇති වෙන්නේ නෑ...ඒත් ඩ්‍රයිවර් කොලුවට වාහනේ වීදුරු හෝදන්න ගියාම තමයි කොලු ගැටව්ගේ අම්මලා මතක් වෙන්නේ...තෙල් සහිත ෆෝම් ස්ප්‍රේ පැල්ලම් ඉවත් කිරීම අපහසුයි...
                                           ..සමහර තරුණයන්ගේ මුලු වාහනයම ස්ටිකර් වලින් වහගෙන වින්ඩ්ස්ක්‍රීන් එක පවා...කුවේට් කොඩියෙන් හදපු ඇඳුම්,තොප්පි තමයි ඇඳගෙන යන්නේ..අග නගරයේ රාත්‍රිය පුරාම මල්වෙඩි සංදර්ශන...
                                                        

තරුණියන්ද කළු ලෝගුව ඉවතා ලා සරල ඇඳුමෙන් සැරිසරන්නේ නිදහස් දිනයේ ලද නිදහස උපරිමව භුක්ති විඳිමින්..

ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ දින 2 කුවේට් ජාතිකයන් ගෙවන්නේ..

පින්තූර සියල්ල ගූගලෙන් හොයාගත්ත ඒවා..මේ කොලුවත් කැමරාව අරගෙන යන නිසා පින්තූර ගන්න ලැබුනොත් පසුව එකතු කරන්නම්...

විස්තර ලබාගත්තේ විකිපීඩියා අඩවියෙනි..

සැමටම සුබ දවසක්............

පසු සටහන.....

මම හිතාගෙන හිටිය විදියට පින්තූර ගන්න ඉඩක් ලැබුනේ නෑ..වාහනේ නවත්තලා කට්ටිය බැහැලා ගියාම පාර අයිනට වෙලා පින්තූර ටිකක් ගන්න හිතාගෙන හිටියේ.ඒත් වාහනේ නවත්ත ගන්න තැනක් වත් නැති නිසා බොසී ඇතුලු පිරිස වාහනේ ඉඳන්ම වතුර විදිමින් විනෝද වෙන අතරේ මම කට්ටියට හොරෙන් යන්තම් පොටෝ 2 ගත්තා..කට්ටිය පිටිපස්සේ ඉන්න නිසා තරුණියන්ට එහෙම කැමරාව මෑනුවේ නෑ..






Tuesday 18 February 2014

ජපන් ශිෂ්‍යත්වය...

කාන්තාරයේ කූඩාරම් ගහන එක ගැන පලකල පෝස්ට් එකෙන් පස්සේ නොහිතුව විදියට ආයෙමත් කාන්තාරගත වෙන්න සිද්ධ වුනා.ඒ ඉන්න කොට ඩොංගලේට එන යන සිග්නල් එක්ක සයිබරයේ වැඩි වෙලා ඉන්න ලැබුනේ නෑ.ඩොංගලේ ගලවලා පැත්තකටම දාලා බාගෙන තිබුන ෆිල්ම් ටික ආයෙමත් බලමින් කාලය ගෙවාගත්තා.ඊයේ දිනයේ ආයෙමත් මගේ කාමරයට සම්ප්‍රාප්ත වෙලා ඉන්න කොට හදිසියේම වගේ ‘ජපන් අම්මා‘ ව මතක් වුනා.ඒ මතකය හිතේ තබාගෙන තබනා පුංචි සටහනක්...

                                                     වර්ෂය 1991. ඒ වනවිට මම රණසිංහ මහා විද්‍යාලය වන ගමේ පාසලේ 8 වසරේ ඉගෙනුම ලබමින් හිටියේ.විදුහල්පතිවරයාගේ කැඳවීමකින් මමත් මගේ පන්තියේම සිසුවියන් දෙදෙනෙකුත් විදුහල්පති කාමරයට ගිය බව මතකයි.විදුහල්පතිතුමා තවත් ගුරුවරු කීප දෙනෙකුම සමග සාකච්ඡාවකින් පසු සිසුවියන් දෙදෙනාට පන්ති කාමරයට යන ලෙසත් මට නවතින ලෙසත් පැවසුවා.පන්ති නායකයා වශයෙන් හුනු කූරු,නාම ලේඛණය ගෙන ඒම වැනි දෑ සඳහා නිතරම මම විදුහල්පති කාමරයට යන නිසා මෙම රඳවා ගැනීමේ අමුත්තක් තිබුනේ නෑ.
                                 පසුව මා අමතා කතා කල විදුහල්පතිතුමා
 ‘පුතා ලබන ඉරිදා මේ ලියුමේ තියෙන වෙලාවට නයිවල උභයශේඛරාරාම පන්සලට ගෙදර කෙනෙක් එක්ක යන්න..රැස්වීමක් තියෙනවා අපි ඒකට ඔයාව තෝරගෙන තියෙන්නේ‘........

                                         මතක හැටියට මගේ නම,වයස,පාසල සඳහන් විදුහල්පතිතුමා සහතික කල ලිපියක් මිස වැඩි තොරතුරු ලියුමේ සඳහන් වුනේ නෑ.එලබුන ඉරිදා දිනයේ අම්මාත් එක්ක එම පන්සලට මම යනවිට මගේ වයසේම වගේ තවත් පාසල්වල සිසු සිසුවියන් 8 දෙනෙක් හිටියා.ඊට අමතරව අපට වඩා ඉහල පන්තිවල අයත් 16 දෙනෙකු පමන හිටියා.මේ හැමෝම තම තමන්ගේ මව,පියා,භාරකරුවෙක් සමග තමයි ඇවිත් හිටියේ.ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් සහ වෑන් රථ 2ත් තිබුනා.රැස්වීම් ශාලාවේ අපි 8 දෙනා වෙනමත් අයියලා අක්කලා ටික වෙනමත් දෙමව්පියන් අපිට පිටුපසිනුත් වාඩිවුනා.විහාරාධිපති ‘යටගම විමලධම්ම‘ ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් ඉටු කරමින් රැස්වීම ආරම්භ කලා..

විහාරාධිපති හිමියන්ගේ කතාවෙන් දැනුවත් කල පරිදි අප සිසු සිසුවියන් සියලු දෙනා ජපන් ජාතිකයන් විසින් දෙනු ලබන ශිෂ්‍යත්වයකට තෝරා ගෙන තිබුනා.ඉන් පසුව පැමින සිටි  ස්වාමීන් වහන්සේ නමක් බොහෝම සරලව,සුහදශීලිව මේ ශිෂ්‍යයත්වය ගැන හැදින්වීමක් කලා.
ජපන් ජාතිකයන්ට ධර්මය දේශනා කරමින් වසර 12 පමන ජපානයේ රැඳී සිටි උඩුගම සුමංගල ස්වාමීන් වහන්සේගේ වටිනා අදහසක ප්‍රතිඵලය තමයි මේ ශිෂ්‍යත්වය.ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන දුප්පත් ලාංකික දරු දැරියන්ට උදව් කිරීමට කැමති  ජපන් ජාතියන් හා එක්ව 1986 වර්ෂයේ ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කල එම ස්වාමීන් වහන්සේ රට පුරා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 100 වැඩි ප්‍රමාණයක් පන්සල් තුල ආරම්භ කර ඇත.



ප්‍රාදේශීය මධ්‍යස්ථාන හිමිවරුන් විසින් අවට පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කර තෝරාගන්න සිසු පිරිසට මේ වසරේ අප පාසලෙන් සුදුසුකම් ලැබුයේ මා පමනි.මා නොදැන හිටියත් ඊට කලින් අවුරුද්දේත් අප පාසලේ දෙදෙනෙකු මේ ශිෂ්‍යත්වයට සුදුසුකම් ලබා තිබුනා.සෑම වාර විභාගයකදීම පලවෙනියා හෝ දෙවෙනියා වන මම පවුලේ අයත් එක්ක පොල්අතු හෙවිලි කල කුඩා නිවසක ජීවත් වීම,පියා කුලී වැඩ කරමින් අපව පෝෂණය කිරීම,හවස් වරුවේ මම ගඩොල් පෝරනුවක කුලියට ගඩොල් ඇදීම යන සියලු තොරතුරු අප ගමේම පදිංචි ‘මේනිස්‘ විදුහල්පතිතුමා දැනගෙන හිටියා.අදටත් මමත් මගේ දෙමව්පියනුත් සර්ව පාරක දැක්කත් ලගට ගිහින් කතා කරන්නේ සර් කල ඒ උපකාරය එතරම්ම වටින නිසයි.

                                                මේ විදියට නිප්පොන් ශිෂ්‍යත්වලාභියෙක් වුන මට එතැන් පටන් ගමේ දහම් පාසලෙන් අස්වෙලා මධ්‍යස්ථානයේ දහම් පාසලට යන්න සිදු වුනා.සෙනසුරාදා දිනයේත් සිංහල,විද්‍යාව,ඉංග්‍රීසි,ගණිතය කියන විෂයයන් වලට අමතර පන්ති පංසලේම පැවැත්වුනා අප කණ්ඩායම් දෙක සඳහාම.ඉරිදා හවස ජපන් භාෂා පන්තිය පැවැත්වුනා.ආරම්භයේදී සියලුම දෙනා සහභාගි වුවත් උසස් පෙල කරන කාලය වනවිට මමත් මගේ මිතුරෙක් සහ මිතුරියක් පමනයි ජපන් පන්තියට සහභාගි වුනේ.උසස්පෙල ටියුෂන් පංති නිසා අවසානයේ ජපන් පන්තියට ඉතුරු වුනේ මගේ මිතුරා පමනයි.සති අන්ත දවස් දෙකම පංසලේ ගත කරන්න වීම අප හැමෝටම බොහෝම සතුටක් වුනා.මගේ කණ්ඩායම පිරිමි ලමුන් 5 හා ගැහැනු ලමයින් 3 සිටියා.මධ්‍යස්ථානයට පැමිනීම වෙනුවෙන් පැමිනීමේ දීමනාවක්ද අපට ලබාදුන්නා.

                                  ශිෂ්‍යත්ව අංක 1826 දැරූ මාගේ ජපාන මව්තුමිය ‘ටොෂිකෝ මිසුඕචි‘ මහත්මිය.සෑම මසකට වරක්ම අපි අපගේ කැපකරු දෙමව්පියන්ට ලියුමක් ලිවිය යුතු වුනා.මා විසින් සිංහලෙන් ලියන ලියුම ඉංග්‍රීසියට පරිවර්තනය කර දුන්නේ පාසලේ ඉංග්‍රීසි හා පන්ති භාර ගුරුතුමිය වන ‘කල්‍යානවතී‘ ගුරුතුමියයි.සියලුම ලියුම් මධ්‍යස්ථාන ස්වාමීන් වහන්සේ කියවා බලා අප විසින් කිසිදු ඉල්ලීමක් කර නැති බව සැක හැර දැනගෙන ප්‍රධාන මධ්‍යස්ථානයට යවනු ලබනවා ජපානයට තැපැල් කිරීම සඳහා.ජපන් මවගේ සේයාරුවක් සහිත ලිපියක්ද නත්තල් සුභ පැතුම් පතක්ද ඇයගෙන් මා වෙත ලැබුනා.ලා නිල් පැහැති චාම් ගවුමක් ඇඳ තණ බිස්සක වාඩිවී සිටි ඇය ඉතා ප්‍රියමනාප කාන්තාවක්.ඇයගේ සේයාරුව තවමත් මගේ සහතික පෙට්ටියේ තියෙනවා.මෙහි පලකිරීමට නොහැකි වීමනම් හිතට දුකක්.

                       ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ කෝට්ටේ දියවන්නා ඔය අසබඩව මහින්දාරාම විහාරස්ථානය තුලයි.වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය  පැවැත්වෙන දිනට ලංකාවේ සියලුම ශිෂ්‍යත්වලාභීන් මෙහි රැස්වෙනවා.ඒ සඳහා බස් රථයක් සුදානම් කරගෙන පිටත් වීම අපට තවත් එක් විනෝද චාරිකාවක්.

පොත් බෑගය
පොත්
පෑන්,පැන්සල්,කවකටු පෙට්ටිය
පාසල් නිල ඇඳුම සඳහා රෙදි
සපත්තු සඳහා වවුචර් පත්      ආදියෙන් සමන්විත කට්ටලයක් අපට ලැබුනා.
මේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ බොහෝම කඩිසරව සිනහ මුසු මුහුනින් කටයුතු කල මලියදේව හාමුදුරුවෝ අප හැමෝටම හොඳින් මතක හිටියා.


උසස් පෙල විභාගයෙන් විශ්ව විද්‍යාලයට යාමට සුදුසුකම් නොලැබුන මට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සම්පාදනය කිරීමට තරම් මධ්‍යස්ථාන ස්වාමීන් වහන්සේ කාරුනික වුනා.ඒ පාඨමාලාව ඔස්සේම පලමු රැකියාව ලබාගත් මම නිප්පොන් ශිෂ්‍යත්වය ලබා අවසන් අයෙකු බවට පත්වුනා.ඒ වනවිටත් අපට පසුපසින් ආ තවත් කණ්ඩායම් 2 මධ්‍යස්ථානයේ අප නැති අඩුව පුරවමින් සිටියා.

හදිසියේ මතක් වුන ජපන් අම්මාගෙන් පස්සේ මම උනන්දු වුනේ ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රය ගැන හොයා බලන්න.මේ ලින්ක් එකෙන් එම කේන්ද්‍රයේ වෙබ් පිටුවට යන්න පුලුවන්.ඉහත සියලුම ඡායාරූප මෙම වෙබ් පිටුවෙන් ලබාගන්නා ලදී.අදටත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ගැන නම් තියෙන්නේ විශාල සතුටක්.

ශිෂ්‍යත්වලාභියෙක් වීමට මං පෑදූ විදුහල්පතිතුමාගේ සිට උදව් උපකාර කල සැමටම ස්තූති වේවා...ජපන් මවුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා...........

Thursday 6 February 2014

ශීතලට ගහන ටෙන්ට්...

අපි හැමෝම පය ගහලා ඉන්න මේ ලෝකය උතුරු කොනයි දකුනු කොනයි යා වෙන තමන්ගේ අක්ෂය වටේට හැම වෙලේම කරකැවෙමින් ඉන්නේ.ඒ විතරක් නෙමේ එහෙම කරකැවෙන ගමන් සූර්යා වටේටත් ගමන් කරනවා.හැම පැත්තටම කරකැවෙන නිසාද මන්දා උතුරයි දකුනයි පිහිටලා තියෙන්නේ සිරස්වම නෙමේ අංශක 23.5 ඇලයක් සහිතවයි.ඔය විදියට ඇලවෙලා කැරකීම ඇතුලු තවත් හේතු නිසා පෘතුවි වාසීන් වෙච්ච අපිට වසරක් තුලදී සෘතු කීපයකට මුහුන දෙන්න වෙනවා...

ශීතල කාලය ඇති වෙන්නේ ඇයි කියලා හොයන්න ගිය මට හම්බුනේ ඔන්න ඔය වගේ කරුණු ටිකක් තමා.ඉතින් ඇයි ශීතල කාලය ගැන හොයන්නේ...

       ...ශීතල කාලයට ටෙන්ට් ගහන නිසා.... 

නෑ..නෑ..ඒ ටෙන්ට් එක නෙමේ මෙන්න මේ ටෙන්ට් එක ගැනයි කියන්න හදන්නේ..



කට්ටියම දැනටමත් දන්නවනේ මම මැදපෙරදිග රටක ඩ්‍රයිවර් කොල්ලෙක් කියලා.මම ඉන්නේ කුවේට් රටේ.මට තියෙන රාජකාරිය ඉතින් බොසාගේ බිරිඳ බොසී සහ ළමයින් තුන්දෙනාගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරන එක තමයි.
ශීත කාලය සඳහා ලබා දෙන පාසල් නිවාඩුව කුවේට් ජාතිකයන් බොහොමයක් ගත කරන්නේ කාන්තාරයේ.මේ විදියට කාන්තාරයේ කූඩාරම් තුල ගත කරන්නේ ඔවුන්ගේ අතීත මුතුන් මිත්තන් බැටලුවන්,ඔටුවන් ඇති කරමින් ගත කල එ‍ඬේර දිවි පෙවත සිහි කිරීම සඳහායි.අතීත කුවේට් ජාතිකයන්ගේ ජීවනෝපාය වෙලා තියෙන්නේ එඬේර කර්මාන්තය හා ධීවර කර්මාන්තයයි.පාසැල් තාප්ප පුරා ඇඳි සිතුවම් හා ආයතන තුල තබා ඇති අනුරූ වලින්ද නිරූපනය වන්නේ මෙම කර්මාන්ත ගැනය.

උඩ පින්තූරයේ තියෙන ආකාරයට කූඩාරම සකස් කරගන්න පැයක් වගේ කාලයකින් පුලුවන්.වහලය කොටස බිම තියලා, වටේට කූ‍ඤ්ඤ ගහලා, ලනු ටික ඇදලා, ඇතුලට රිංඟලා, මැද කනුව උස්සන එක තමයි මුලින්ම කරන්නේ.ඊට පස්සේ පැති 4 සම්බන්ධ කරලා කූඩාරම වටේට, රෙදි බිත්තිය ලගින්ම වැලි වැටියක් දානවා.
  
ගොඩක් වෙලාවට නෑදෑ පිරිසේ හැමෝම එකම තැනක කූඩාරම් සකස් කරනවා.මේ විදියේ සංවෘත කූඩාරම් අවශ්‍යය වන්නේ නිදා ගැනීම,ඇඳුම් මාරු කිරීම වගේ දේවල් වලට.අනිත් වෙලාවට හැමෝටම එකතු වෙලා සතුටු සාමිච්චියේ යෙදෙන්න විවෘත ලොකු කූඩාරමක් හදනවා.මේ විදියට විවෘත කූඩාරම් දෙකක් සකස් කරනවා කාන්තාවන්ට හා පිරිමින්ට වෙන වෙනම.පහත තියෙන්නේ පිරිමි කූඩාරමක්.ඩ්‍රයිවර් කොලුවා උදෙන්ම එලියට එන්න දොර ඇරපු ගමන්.අනිකුත් සගයන් අවදි වුනාට පසු ඉදිරිපස සම්පූර්නයෙන් විවෘත කරනවා.



පිරිමි කූඩාරම නම් වැඩි අරුමෝසම් නැතුව සරලව තමයි සකස් කරන්නේ.ගොඩක් පිරිමි කූඩාරම ඇතුලට වෙලා තේ බොන එක තමයි කරන්නේ.ඒ එක්කම රටඉඳි සමග ‘ගහුවා‘ කියන අරාබි කෝපිත් බොනවා.ගහුවා කියන්නේ කරදමුංගු හා තවත් කුලු බඩු කීපයක් කොටා සකස් කරගත්තු පානයක්.විශාල පිරිසක් එකතු වෙන තැනක නම් මේ ගහුවා පිලිගැන්වීම සඳහාම වෙනම පුද්ගලයෙක් සිටිනවා.ගහුවා පිලිගැන්වීමේදී වම් අතට පෝච්චියත් දකුනු අතට කුඩා කෝප්පයත් හිටින විදියට අල්ලා ගෙන කෝප්පයේ භාගයක් පමන වත් කර තමයි පිලිගන්වන්නේ.ගහුවා බොන කෙනා තමන්ට ඇති තරම් වාර ගණනක් බීලා කෝප්පය දෙපැත්තට හොලවනවා.ඒ විදියට තමයි දැන් ඇති කියන්නේ.රට ඉඳියි ගහුවයි බීපුවාම පුරුෂ ශක්තිය වැඩි වෙනවයි කියන හින්දම මමත් ලැබෙන හැම වෙලේම ඕක බොනවා.ඒත් ඉතින් ශක්තිය පරීක්ෂා කරගන්න විදියක් තමා නැත්තේ.


ජාලයෙන් ගත් පිංතූරයකි.

තේ,කෝපි වලට අමතරව දුම් බොන අයට ‘ශීෂා‘  බොන්නත් පුලුවන්.මේ ඉන්නේ මගේ ඉන්දියන් යාලුවෙක් 
පොටෝ එකට විතරක් ශීෂා බොන ගමන්.උඩම තියෙන මැටි කෝප්පෙට තරමක් ලොකු කෑලි විදියට තියෙන දුම්කොල පුරවනවා.ඒ දුම්කොල වලට උඩින් රත් කරපු අඟුරු කැට කීපයක් තියලා බටේ උරන්නයි තියෙන්නේ.යකඩ බටේ දිගේ පහලට එන දුම පහල තියෙන වතුර භාජනේ ඇතුලටත් ගිහින් තමයි එලියට එන්නේ.බලාගෙන ඉන්න කොට නම් හිතෙන්නේ තරමක ආයාසයෙන් දුම් බොන ක්‍රමයක් කියලා.ඩ්‍රයිවර් කොල්ලා ශීෂා බීලා නැති නිසා ඒ ගැන නම් කියන්න දන්නේ නැත.



කාන්තා කූඩාරමක පොටෝවක් නම් ගන්න ලැබුනේ නෑ.ඒ ප්‍රදේශය පිටස්තර පිරිමි වෙච්ච අපිට තහනම් කලාපයක්.අනිත් වෙලාවට ගෝනි බිල්ලෝ වගේ ඉන්න කාන්තාවන් මේ වෙලාවට සරල සැහැල්ලු ඇඳුමෙන් මූනු ආවරන එහෙම අයින් කරලයි ඉන්නේ.තදින් හුලං තියෙන වෙලාවට සැටලයිට් ඩිස්ක් පොඩ්ඩක් හරි හෙලවුනොත් ටීවී චැනල් වැඩ කරන්නේ නැති නිසා මේ කොලුවට නිතරම කාන්තා කූඩාරමට යන්න වෙනවා තැටිය හරි තැන තියන්න.බොසීගේ නෑදෑ පිරිස හැමෝම දන්න නිසාත් පරනම ඩ්‍රයිවර් නිසාත් තමයි ඒ අවස්ථාව මට ලැබිලා තියෙන්නේ.කාන්තා සේවිකාවන්ගේ කූඩාරම සහ මුලුතැන්ගෙය තියෙන්නෙත් මෙයට යාබදවයි.

මේ විදියට එකතු වෙන පවුල් වල ඉන්න පිරිමි පාර්ශවය ඒ ඒ වයස් මට්ටම් වල හැටියට තම තමන්ගේ විනෝදාංශ තෝරාගන්නවා.පොඩි ගැටවු පාපන්දු ගැසීම,රෝද හතරේ සයිකල් පැදීම කරද්දී තරුන ගැටවු කුරුල්ලන් දඩයම් කිරීම,වාහනයේ ෆෝ වීල් පහසුකමෙන් කඳු පල්ලම් තරණය කරනවා.




ඩ්‍රයිවර් කොල්ලා නම් මේක උස්ස ගෙන ඉන්නේ පොටෝවට විතරයි.සතෙකුට වුනත් ගිනි බිඳින්න හිතක් නෑ.(හුලං බිඳින්න ද මන්දා....වායු රයිපලයක් නිසා)



ශීතල කාලයට විතරක් කාන්තාරයට එන අය තමන්ගේම කූඩාරම් වගේම සකස් කල කූඩාරම් කුලියටද ගන්නවා.ඔටුවන්,බැටලුවන්,එළුවන්,කුකුලන්,පරවියන් ඇති කරන අය ග්‍රීස්ම කාලයටද කාන්තාරයට එන නිසා ඔවුන් ස්ථිරව තහඩු වලින් හදාගත් කුඩා නිවාස භාවිතා කරනවා.

මේ විදියට ඇති කරන සතුන් බලාගෙන ඔවුන්ට කෑම,වතුර ලබාදෙන්න පුද්ගලයෙක් සිටිනවා.බොහෝ තැන් වල ඉන්නේ ඉතියෝපියා ජාතිකයෙක් හරි බංග්ලාදේශ ජාතිකයෙක් තමයි.මේ ගොපලු රැකියාව නම් බොහොම දුෂ්කර එකක්.ශීතල කාලයේ විටින් විට වැස්ස ඇතිවන නිසා කාන්තාරය පුරාම ලා දලු තණ පත් හටගන්නවා.ඔටුවන්,බැටලුවන් මේ තණ පත් කමින් බොහෝ දුර යන අතර ගොපල්ලාද ඔවුන් පස්සෙන් අධික ශීතලේ යා යුතු වෙනවා.

අධික ශීතල,දිය නෑමට උනු වතුර නැති වීම නිසා කාන්තාර කාල සීමාව ඩ්‍රයිවර් කොල්ලාට නම් අප්‍රසන්නම කාලයක්.අනික් හේතුව තමයි ඩොංගලයට සිග්නල් නැති වීම.බ්ලොග් බලන්න නැති වීම ලොකුම පාඩුවක්.යන දවසේ පටන් ගත්තු පෝස්ට් එක දවස් 6 පස්සේ අද ඉවර කරන්න වුනෙත් ඒ නිසයි.කොහොම වුනත් අපිට පුද්ගලිකව සිද්ධ වෙන අපහසුතා වලට වඩා රැකියාවට මුල් තැන දෙන්න ඕනේ නිසා හැම දෙයක්ම ඉවසා ගන්න පුලුවන් වුනා...

මගේ පුංචි කැමරාවෙන් ගත් තවත් පින්තූර කීපයක් පහතින්...


උදෑසන 1...


උදෑසන 2...


උදෑසන 3...


කාන්තාරයේ නෞකාව....


මට එපාම කරපු තැන...



මගේ වංඩිය....


පේනවනේ යායට තියෙන කූඩාරම් ගොඩ...


තනිකම...


ගන්ඩ ගන්ඩ අයියා මගේත් පොටෝ කෑල්ලක්..


ඕනේ තැනකට ඔට්ටුයි....


සුභ දවසක් සැමටම....