‘‘අයියේ පෙට්ටියට යකඩ පටිත් ගහනවා නේද?‘‘
‘‘ඔව්..ඔව්..මල්ලි යාඩ් එකට ගෙනිහින් පෙට්ටිවලට යකඩ පටි ගහනවා..‘‘
මහා ලොකු වටිනාකමක් ඇති දේවල් නැති වුනත් මාස කීපයක් තිස්සේ එකතු කල බඩු ටික ලෑලි පෙට්ටියකට දාලා කාගෝ එකට භාර දුන්නා..දවස් 25 යනවා බඩු ටික කොළඹට යන්න..ඒත් කමක් නෑ සිංහල අවුරුද්දට කලින් ගන්න පුලුවන් වෙයිනේ කියලා හිත හදාගත්තා..
තව ඉතුරු වෙලා තිබුන ටොපි,චොකලට්,බිස්කට්,පෑන් පැන්සල් ටිකත් ට්‍රැවලින් බෑග් එකට අඩුක් කලාට පස්සේ කාමරේ හිස් වෙලා පාළුවට ගියා වගේ වුනා..තව පැය කීපයකින් මම කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලෙන් මව්බිම බලා පිටත් වෙනවා..ඒ ගැන මතක් වෙද්දිත් පුදුම සතුටක් හිතට දැනෙන්නේ...ඒත් හිත පෑරෙනවා මම හිතුවෙවත් නැති මිනිස්සු ඇවිත් කඳුළු පුරෝගෙන බදාගෙන සුභ ගමන් කියන කොට...ඒ සේරම බංග්ලාදේශ,ඉන්දියාවෙ යාලුවෝ..මේ හැම කෙනෙක්ම ස්මාට් පෝන් අරගෙන කිසිම දෙයක් නොදැන මා ගාවට අරගෙන ආවාම ෆේස්බුක්,වට්ස්අප්,වයිබර් වගේ සොෆ්ට්වෙයාර් දාලා දීලා තව ඉතින් ඔය අර ජාතියේ සයිට් කීපයකුත් බුක් මාක් කරලා දෙනවා..වෙලාව අවේලාව නොබලා මේ මිනිස්සු ආවත් මම කවදාවත් අකමැත්තක් පෙන්නන් නැතුව වැඩේ කරලා දෙන බව උන් දන්නවා..ඒ වගේම මම හැමෝ එක්කම සුහදව හිනා වෙලා කතා කරලා ඉන්න නිසාම බහුතරයක් වුන ‘බංගලි‘ හා ‘හින්දි‘ අතරේ හිටපු මේ ‘සිලානි‘ ට තැනක් තිබුනා...