දින කීපයක ඉඳන් කුවේට් රට හැඩ වෙනවා,සැරසෙනවා.තරුණයෝ තම තමන්ගේ වාහන ස්ටිකර් වලින් අලංකාර කරනවා.අහසත් කාර්ය බහුලයි, නිතරම ගුවන් සංදර්ශන. මේ වෙනසට හේතුව හොයාබැලූ විට දැනගන්න ලැබුනේ පෙබරවාරි 25 හා 26 දිනට යෙදී ඇති නිදහස් උත්සවය වෙනුවෙනුයි මේ ලක ලෑස්තිය.
බටහිර ආසියානු රටක් වන කුවේටය එක් පසෙකින් ඉරාකයටත් අනිත් පසින් සවුදි අරාබියට හා අරාබි මුහුදට මායිම් වී ඇත.18 හා 19 වන සියවස් වලදී පෙරදිග ඉන්දියානු හා මැදපෙරදිග වෙළඳ මාර්ගයේ පිහිටි සාර්ථකම වෙළඳ පොලක් මෙහි තිබී ඇති අතර මේ හේතුවෙන්ම කුවේට් ආර්ථිකය ඉතා සමෘද්ධිමත් විය.පලවන ලෝක යුධ සමයේ එවකට කුවේට් පාලකයා විසින්, ඔටෝමාන් අධිරාජ්‍ය නොහොත් වර්තමාන තුර්කියට සහාය දැක්වීම නිසා බ්‍රිතාන්‍යය අධිරාජ්‍යා විසින් කුවේටයට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලදී.මේ ආර්ථික සම්බාධක කුවේට් ආර්ථිකය දුර්වල කිරීමට හේතුවිය.
පලවන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසු 1919-1920 කාල සීමාවේදී සවුදි අරාබිය විසින් කුවේට්ය තම රාජ්‍යයට ඈඳා ගැනීමට කල උත්සාහයේදී නැවතත් යුද්ධයක් ඇති විය.බ්‍රිතාන්‍යය යුධ ආධාරද සහිතව කුවේට්ය යුධ වැදුනත් අති විශාල සවුදි සේනාවකට මුහුන දීම කල නොහැකි විය.යුද්ධය අවසන් වූයේ කුවේට් රටෙන් 2/3 පමන ප්‍රමානයක් සවුදි අරාබිය විසින් ගිවිසුම් පත්‍රයක් මගින් අත්පත් කර ගැනිමෙනි.මෙම ගිවිසුම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කලේ එවකට ඉරාකයේ බ්‍රිතාන්‍ය තානාපති Percy Cox මහතායි.
මෙම ගිවිසුමෙන් පසු කුවේටය ‘ශේක්‘ (අරාබි නායකයන් හදුන්වන නම) වරයෙකු යටතේ පාලනය වෙමින් බ්‍රිතාන්‍යයේ අනසකට යටත් විය.භූමිය අත්පත් කරගැනීමෙන් නොනැවතී සවුදිය විසින් දැඩි ආර්ථික සම්බාධක කුවේටයට එරෙහිව පැනවීය.1923 සිට 1937 දක්වා වසර 14 දැඩි ආර්ථික සම්බාධක වලට යටත් වූ කුවේටය 1937 වසරේම බ්‍රිතාන්‍යය හා එක්ව ඛණිජ තෙල් සොයාගැනීමට සමත් විය.නමුත් ඉන් පසුව ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය නිසා ඛණිජ තෙල් සම්පත ප්‍රයෝජනයට ගැනීමට 1951 වසර දක්වාම නොහැකි විය.1952 වසර වනවිට ගල්ෆ් කලාපයේ වැඩිම ඛණිජ තෙල් අපනයනකරු වීමට කුවේටයට හැකිවිය.කෙමෙන් කෙමෙන් ආර්ථිකය සවිමත් වන විට ස්වාධීනත්වය පිලිබඳව උනන්දු වූ කුවේට් ජාතිකයන් 1961 වසරේදී බ්‍රිතාන්‍යය රජයෙන් නිදහස ලබා ගත්තා.
ඛණිජ තෙල් අපනයනයෙන් ධනවත් රටක් වූ කුවේටයට නැවත වරක් දුෂ්කර කාලයක් උදාවන්නේ 1990 අගෝස්තු 2 දින ඉරාක ආක්‍රමණයත් සමගයි.එවර ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී 1991 පෙබරවාරි 26 දින ඉරාක ග්‍රහණයෙන් කුවේටය මුදාගත්තා.ඒ වනවිටත් ඉරාකය විසින් තෙල් ලිං 773 පමන ප්‍රමාණයක් ගිනි තබා විනාශ කිරීම කුවේට් ආර්ථිකයට වැදුන මරු පහරක් විය.
කෙසේ වෙතත් ඉහත සිද්ධීන් 2 මුල් කරගෙන සෑම වසරකම පෙබරවාරි 25 දින National Day ලෙසත් පෙබරවාරි 26 දින Liberation Day ලෙසත් මහත් අභිමානයෙන් සමරනු ලබනවා...
ඉතිහාසය පාඩම දැන් නවත්තමු..
මේ පෝස්ටුව කොටන වෙලාවෙත් අහස ගුගුරාගෙන ප්‍රහාරක යානා යන සද්දේ ඇහෙනවා.දැන් Kuwait City අග නගරයේ උත්සව ආරම්භ වෙලා ඇති...තව ටිකකින් මේ කොලුවටත් ගෙදර පිරිවර පටවගෙන අග නගරෙට යන්න වේවි.හයි වේ එකෙත් ගොලුබෙලි ගමනින් තමයි අද යන්න වෙන්නේ..ඒ මදිවට ලොකු පොඩි හැමෝගෙම අතේ තියෙන වතුර තුවක්කු,ෆෝම් ස්ප්‍රේ වලින් පහර කන්නත් වෙනවා..
මම නම් ඉතින් වීදුරුව වහගෙන යන නිසා බේරුනත් අනිත් උදවිය ලග පාත වාහන එක්ක වතුර සෙල්ලම ජයටම කරනවා...හැමෝම විනෝදයට කරන දෙයක් නිසා ගැටුම් නම් ඇති වෙන්නේ නෑ...ඒත් ඩ්‍රයිවර් කොලුවට වාහනේ වීදුරු හෝදන්න ගියාම තමයි කොලු ගැටව්ගේ අම්මලා මතක් වෙන්නේ...තෙල් සහිත ෆෝම් ස්ප්‍රේ පැල්ලම් ඉවත් කිරීම අපහසුයි...
..සමහර තරුණයන්ගේ මුලු වාහනයම ස්ටිකර් වලින් වහගෙන වින්ඩ්ස්ක්‍රීන් එක පවා...කුවේට් කොඩියෙන් හදපු ඇඳුම්,තොප්පි තමයි ඇඳගෙන යන්නේ..අග නගරයේ රාත්‍රිය පුරාම මල්වෙඩි සංදර්ශන...

තරුණියන්ද කළු ලෝගුව ඉවතා ලා සරල ඇඳුමෙන් සැරිසරන්නේ නිදහස් දිනයේ ලද නිදහස උපරිමව භුක්ති විඳිමින්..
ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ දින 2 කුවේට් ජාතිකයන් ගෙවන්නේ..
පින්තූර සියල්ල ගූගලෙන් හොයාගත්ත ඒවා..මේ කොලුවත් කැමරාව අරගෙන යන නිසා පින්තූර ගන්න ලැබුනොත් පසුව එකතු කරන්නම්...
විස්තර ලබාගත්තේ විකිපීඩියා අඩවියෙනි..
සැමටම සුබ දවසක්............
පසු සටහන.....
මම හිතාගෙන හිටිය විදියට පින්තූර ගන්න ඉඩක් ලැබුනේ නෑ..වාහනේ නවත්තලා කට්ටිය බැහැලා ගියාම පාර අයිනට වෙලා පින්තූර ටිකක් ගන්න හිතාගෙන හිටියේ.ඒත් වාහනේ නවත්ත ගන්න තැනක් වත් නැති නිසා බොසී ඇතුලු පිරිස වාහනේ ඉඳන්ම වතුර විදිමින් විනෝද වෙන අතරේ මම කට්ටියට හොරෙන් යන්තම් පොටෝ 2 ගත්තා..කට්ටිය පිටිපස්සේ ඉන්න නිසා තරුණියන්ට එහෙම කැමරාව මෑනුවේ නෑ..